බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)
සුන්දර වූ තුරුලාතාවලින් අලංකාර වූ පහළ කඳුරු ගමුව ගම මැදින් ගලා යන මහ ඔය ගමට එක් කරන්නේ මහත් සුන්දරත්වයකි.ලොකු කුඩා කාගේත් ආකර්ෂණයට පත් වුණු මෙම මහ ඔය තුළ පිහිටා ඇති "තම්මුට්ටි වළ" කාගේත් අවධානයට ලක් වූවකි.මෙයට අතීතයේ පටන් තම්මුට්ටි යන යෙදුම භාවිතා කර ඇත්තේ එහි පෙනුම තම්මුට්ටියක හැඩය ගන්නා නිසාවෙනි.
හිරු එළිය කෙමෙන් මෝදු වන දහවලක අපි තම්මුට්ටි වළ අසළට සේන්දු වූයෙමු. තම්මුට්ටි වළේ පිරී ඇති සුපිරිසිදු ජලය දුටු ඕනෑම අයෙකුට එයින් දිය නෑමට සිතෙයි. ඉතාමත් අලංකාර ගල් තලාවක් මැද්දෙහි පිහිටා ඇති තම්මුට්ටි වළෙන් දිය නෑමට අප බිය වූයේ සීයා විසින් අප හට පැවසූ අතීත කතාවක් සිහිවීමෙනි. ඔහු පැවසූ අන්දමට අතීත ජනයා තුළ තම්මුට්ටි වළ පිළිබඳ කතන්දර බොහොමයක් තිබී ඇත.ඒ තුළින් මගේ සිතට හොඳින් ම කා වැදුනු කතාවක් පවතියි.
එක්තරා කාලයක ගම තුළ රන්මැණිකා හා පුංචිමැණිකා නම් වූ සුරූපී තරුණියන් දෙදෙනෙකු විසීය.සහෝදරියන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා ගමේ කාගේත් ආදරයට පත් ව සිටි දෙදෙනෙකි.දිනක් දිය නෑම සඳහා මෙම මහ ඔයේ පිහිටි තම්මුට්ටි වළ වෙත මොවුන් පිවිසෙයි.දිය නෑමට තම්මුට්ටි වළට යන ඔවුන් දිය නෑමට සැරසෙන්නේ ඉතාමත් සතුටෙනි.
" රන් මැණිකා ඔන්න උඹට කලින් වතුරට පනින්නේ මම"
" පුංචි මැණිකට පුළුවන්ද මට කලින් වතුරට පනින්න හොඳයි එහෙනම් පැනලා පෙන්නන්නකෝ"
සතුටින් දිය නෑමට සැරසෙන මොවුන්ගෙන් පුංචි මැණිකා තම පාදය වතුරට දමනවාත් සමඟ බිය මුසු වූ මුහුණකින් යුතුව රන්මැණිකා දෙස බලා සිටියි.
" මං කීවා නේද මට කළින් බොට වතුරට පනින්න බැරි බව"
" නෑ නෑ ... බං රන්මැණිකා මං කකුල වතුරට දාන්කොට මොකෙක්දෝ එකෙක් මගේ කකුලෙන් ඇද්දනෙ බං"
පුංචි මැණිකා කිවු කතාවට මහ හඬින් සිනාසෙන රන්මැණිකා ජබොග් හඬින් තම්මුට්ටි වළට පනිනු ලබයි.
" එපා එපා බං රන්මැණිකා ඕකෙ මොකෙක්දෝ එකෙක් ඉන්නවා අම්මපා ඌ මගේ කකුලින් අදිනවා මට දැනුණා බං"
නැවතත් සිනා සෙන රන්මැණිකා පවසන්නේ,
" අනේ බං ඔය උඹේ මනස්ගාත. මේන් මෙහෙට ඇවිත් නාපං"
" අම්මෝ මටනම් බෑ .උඹට ඕනනම් නාලා ගොඩට වරෙන්"
පුංචි මැණිකා තමන්ට වුණු සිදුවීම පිළිබඳ සිතේ සැකයෙන් යුතුව සිටින විට ඇය දුටුවේ ඇස් අදහාගත නොහැකි සිදුවීමකි.කෙමෙන් කෙමෙන් කවුරුන් හෝ විසින් රන්මැණිකාව දිය යටට ඇදගෙන යමින් තිබුණි.මහ හඬින් විලාප තැබූ පුංචි මැණිකා ,රන්මැණිකා ව බේරා ගැනීමට උත්සහ කළත් එය සාර්ථක නොවීය.තම්මුට්ටි වළ අසළට වී හඬමින් සිටි පුංචි මැණිකා දුටුවේ අදහාගත නොහැකි දෙයකි.රත්තරන් කරාඹුවක් පැළඳි මාළුවෙකු රන්මැණිකා ගිලුණු ගල් දෙබොක්ක අතර සිටිනු ඇය දකියි.මහත් සේ බියකට පත් වූ පුංචි මැණිකා දිවගොස් ගම්මුන්ට සිදුවීම පවසන අතර ජලයේ ගිලුණු රන්මැණිකාගේ සිරුර සොයා ගැනීමට ගම්මුන්ට නොහැකි විය.
මෙම සිද්ධියෙන් පසු ගම්මුන් ප්‍රකාශ කර සිටිනුයේ තම්මුට්ටි වළ තුළ රන් කරාඹුවක් පැළඳි මාළුවෙකු සිටින බවත්,තම්මුට්ටි වළ සුරූපී කතුන්ව බිලි ගන්නා බවත්ය.එසේම අතීත රජවරු තම වටිනා භාණ්ඩ තම්මුට්ටි වළ තුළ තැන්පත් කර ඇති බවත් එයට පිවිසෙන සුරූපී කතුන්ව තම්මුට්ටි වළේ සිටින බහිරවයා විසින් බිලි ගන්නා බවත් ගම්මුන් විශ්වාස කරයි.එම නිසා මෙම වළට ගම්මුන් " බහිරව වළ " යන යෙදුම ද භාවිතා කරයි.
එදා පටන් තම්මුට්ටි වළ නැරඹීමට ජනයා පැමිණියත් එයින් දිය නෑමට කිසිවෙකු පෙළඹෙන්නේ නැත.සීයා පැවසූ අන්දමට මෙම කතාව ජනයා තුළ අතීතයේ සිට පැවතගෙන එන අතර මෙම කතාව නිසාවෙන් කිසිවෙක් තම්මුට්ටි වළේ දිය නෑමට යොමු වන්නේ නැත. කෙසේ වුවත් මෙම කතාව අසන විට මටනම් හැඟී යන්නේ ඇතැම් විට මෙම තම්මුට්ටි වළේ ඇති ත්‍රාසජනක ස්වභාවය නිසාවෙන් ජනයාට වන හානිය වළක්වා ගැනීමට ගම්මුන් විසින් මෙවැනි කතාවක් ගොඩනැංවූවාද යන්නයි.
HS/2016/0126
S.A.R.Chathurya

Elma ftta
ReplyDelete👌👌👌👌
ReplyDeleteEla👍
ReplyDelete